www.sinhala bible studies.com

සිංහළ බයිබල් පාඩම්

පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා, මක්නිසාද විනාශයට යන දොර විශාලය. ජීවනයට යන දොරටුව පටුය, එක සම්භවන්නේ ස්වල්ප දෙනෙකුටය.

කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්

දෙවියන්වහන්සේගේ ඇස්

දෙවියන්වහන්සේට ඇස් තියෙනවා කියලා කියනවිට ඔබෙන් සමහරෙක් මගෙන් මේ වාගේ ප්‍රශ්ණක් අහන්න පුළුවන්; දෙවියන්වහන්සේට ඇස් තියෙනවානම් ඇයි අපිව නොපෙනෙන්නේ?
එහෙම නැතිනම්, ඔය කියන විදියට දෙවියන්වහන්සේට ඇත්තටම ඇස් තියෙනවා නම් ඇයි මේ වාගේ අපරාධ මෙලොව වෙන්නට දෙවියන් ඉඩහරින්නේ ?

අද දින බයිබල් පාඩමට මුල්වී එන බයිබල් පද;

"අයුතුකම් කරන සියල්ලෝම පාරට්ටු කර ගනිති.
ඔවුහු දොඩවති, අහංකාර ලෙස කතා කරති.
ස්වාමීන්වහන්සේ නොදක්නා සේකැයිද,
දෙවියන්වහන්සේ නොසළකන සේකැයිද කියති.
ආඥානයෙනි, නුඹලා කවදා ඥාණවන්ත වන්නහුද?
කණ පිහිටෙවු තැනැන්වහන්සේට නොඇසෙන්නේද ?
ඇස් සෑදු තැනැන්වහන්සේට නොපෙනෙන්නේද?"

-ගීතාවලිය 94

මිනිසුන් හැටියට අපි බොහෝවිට එසේ දෙවියන් ගැන හිතන්නට පුරුදුවී සිටින්නේ දෙවියන් ගැන අප තුල ඇති ආකල්පය අඳුරුවී තිබෙන නිසායි. මෙහිදී "දෙවියන්වහන්සේ ගැන ඇති ආකල්පය අඳුරුවී තිබීම" යනුවෙන් මා අදහස් කලේ, දෙවියන්වහන්සේ සමග අපට සම්බන්ධකම් පැවැත්විය හැකි මාර්ගය, නැතිනම් දෙවියන්වහන්සේගේ අවධානය අප කෙරෙහිත් අපගේ අවධානය දෙවියන් කෙරෙහිත් රඳවා ගතහැකි මාර්ගය ගැන පැහැදිලි අවබෝධයක් නොමැතිව ජීවත්වීම ගැනයි .

ඈත අතීතයේ සිටි මිනිසුන් පමණක් නොව නුමුත් මේ වර්තමානයේ ජිවත්වන ක්‍රිස්තු ඇදහිලිවන්තයන් පවා බොහෝ වෙලාවට දෙවියන් සොයා දේවස්ථානයක් සොයමින් යන්නේ අප තුල තියෙන දැවෙන අපේක්ෂාවන් මුදුන්පත් කරගැනීමේ අරමුණින් හෝ අපගේ උවමනාව දෙවියන් තුලින් හෝ සපුරා ගැනීමට ඇති උවමනාව නිසාම මිසක් අවංකව දෙවියන්වහන්සේව ඇදහීමට නොවෙන බව විශේෂයෙන් මතක්කර දීමට අවශ්‍යය නොවෙයි.

දෙවියන්වහන්සේට කීකරු ජීවතයක් ගත කිරීමට හෝ උන්වහන්සේ දෙවියන් බැවින් ඒ දෙවියන්වහන්සේ වැඳ නමස්කාර කිරීමට ඇති ආශාවෙන් හෝ යන මෙවැනි අරමුණු කෙසේ වෙතත්, පඬුරක් පොරොන්දුවී දෙවියන්වහන්සේ ගෙන් වැඩක් කරවාගැනීමට දරන උත්සාහයක් යයි ඒ ගැන පැවසුවත් එයද වරදක් නොවෙයි.

සැබවින් අපි දෙවියන් සොයා යන්නේ ඇයි?
අපි දෙවියන් සෙවීමට පුරුදුවී සිටින්නේ ඒ දෙවියන්වහන්සේව වැඳ නමස්කාර කිරීමටද?
නැතිනම් ඒ දෙවියන් තුලින් අපගේ පුද්ගලික උවමනාවන් සපුරා ගැනීමටද?

ඒ ගැනත් අපි මෙහිදී අවංකව සිතා බැලීමද ප්‍රයෝජනවත් වන්නේ දෙවියන්වහන්සේ පිට පමණක් වරද නොතබා ඇදහිලිවන්තයන් හැටියට ඇදහිලිවන්තයාගේ පැත්තෙනුත් දෙවියන් සමග ඇති අපි එකිනෙකාගේ වගකීම ගැනත් සිතා බලන පිණිසයි.

අපි දෙවියන්ට අපව නොපෙණෙන බව පවසා සිටින්නේ උන්වහන්සේගෙන් බලාපොරොත්තු වූ යම් ආකාරයක පිහිටක් හෝ උපකාරයක් අපට නොලැබූන නිසා නම් එය පෙන්වාදෙන්නේ, අපි දෙවියන් පවා අපගේ උවමනා එපාකම් සපුරාදෙන සේවකයෙකුගේ තත්වයට ඇද දමාගෙන ක්‍රියා කරන බවයි.

බොහෝවිට බොහෝදෙනෙක් දෙවියන් ගෙන් බලාපොරොත්තුවූ දේවල් දෙවියන් අපට ලබා දෙන්නේ නම් පමණක් දෙවියන්ට පුද පුජාවන් දීමට කැමැත්තක් දැක්වුවත් ; ප්‍රර්ථනාවන් හෝ ඉල්ලීම් බලාපොරොත්තුවූ සේ නොලැබෙන විටදී අප කරන්නේ ඒ දෙවියන් ගෙන් වැඩක් නැහැ කියා දෙවියන් ගණන් නොගෙන අමතක කරදමා ජීවත්වීමට පටන්ගැනීමයි.

ඒතුලින් දිස්වන සැබෑ පින්තුරය වන්නේ, දෙවියන් ගෙන් හෝ වැඩක් අරගැනීමට හැකිනක් පමණක් අප දෙවියන් පිළිගැනීමට දක්වන උනන්දුවයි. එවිට ඒ තුල අවංකව දෙවියන් සෙවීමක් හෝ නමස්කාරය වෙනුවෙන් උනන්දුවිමක් දැකීමට හැකි නොවෙයි. දේව වචනය ඒ ගැන පවසා සිටින්නේ, අපිට අපගේ උවමනා එපාකම් සපුරා ගැනීමේ මාර්ගයක් ලෙසින් දෙවියන්වහන්සේ පාවිච්චි කල නොහැකි බවයි.

එය දැනගෙන හෝ නොදැනගෙන සමහර විට අපි එවැනි අරමුණකින් දෙවියන් සොයා දේවස්ථාන කරා ගියත්, එහිදී පවා අපට පිළිතුරු නොලැබෙන්නේද ඒ හේතුව උඩයි. මිනිසුන් හදාගත් ආගමික චාරිත්‍රයක් අනුගමනය කරමින් දෙවියන්ට බාරහාර පුදකිරීමට සමහර දේවස්ථාන මිනිසුන් පෙළඹවුවත් ඒ තුලින් පවා සිදුවන්නේද අවංකව දෙවියන්වහන්සේ නමස්කාර කිරීමට ජිවිතයෙන් කීකරු වීමක් නොවෙයි.

ක්‍රිස්තියානි ඇදහිලිවන්තයන් හැටියට හෝ ක්‍රිස්තුස්වහන්සේ නොඅදහන මිනිසුන් ලෙසින් හෝ දෙවියන්වහන්සේ ගැනත් උන්වහන්සේ මිනිසුන් මධ්‍යයේ ක්‍රියා කරන ආකාරය ගැනත් එවැනි අඳුරු තේරුම් ගැනීමක් අප තුල තිබුනත්, දෙවියන්වහන්සේගේ පැත්තෙන් ඒ ගැන උන්වහන්සේ පවසා සිටින්නේ, උන්වහන්සේට අපව හොඳින් පෙනෙනා බවයි.

බයිබලයේ සඳහන්වී ඇති අනාගත වක්තෘවරුන් තුලින් දෙවියන්වහන්සේ කල ප්‍රකාශයන් දෙස බලද්දී, බොහෝ තැන්වල දෙවියන්වහන්සේම උන්වහන්සේගේ "ඇස්" ගැන සඳහන් කල ප්‍රකාශයන් ගැනත් ලියවුන සටහන්ද පැහැදිලිව දැකිය හැකියි. ඒ විතරක් නොව, එසේ දේව වචනයේ දෙවියන්වහන්සේගේ ඇස් ගැන සඳහන්වී ඇති තැන්වල දැකීමට හැකි අනෙක් විශේෂ කාරණය වන්නේ, උන්වහන්සේගේ ඇස් සැමවිටම මෙලොව ජිවත්වන අප දෙසට (මිනිසුන් දෙසට) යොමුවී තිබෙන බවත් ඒවායේ සටහන් වී ඇති ආකාරයයි.

දෙවියන්වහන්සේ ආත්මික අයෙක් බැවින්, ( මනුෂ්‍යන් වන අප මෙන් ශාරීරික නොවන නිසා ) උන්වහන්සේට සෑම තැනකම සෑම වේලාවේම එකසේ පෙනීසිටිය හැකි බව අපෙන් බොහෝ දෙනෙක් කිසි ප්‍රශ්ණ කිරීමකින් තොරව පිළිගැනීමට කැමැත්ත පලකලත්, ඇස් ඇති ආත්මික දෙවිකෙනෙක් මෙසේ මොලොව ජිවත්වන අප දෙස විමසිල්ලෙන් බලාසිටිනවා යැයි කියනවිට, එවැනි දෙයක් පිළිගැනීමට අපෙන් බොහෝ දෙනෙක් පැකිළෙයි.

දෙවියන් ගණන් නොගෙන අතීතයේ ජීවත්වූ මිනිසුන්ගේ දුෂ්ඨකම් සහ ඔවුන්ගේ උඩඟු බස් ඉදිරියේ ගීතිකා කාරයා ඒ ගැන අනුහතර වැනි ගීතිකාව තුලින් මේසේ ප්‍රශ්නයක් අසා සිටියි.

“කණ පිහිටෙවු තැනැන්වහන්සේට නොඇසෙන්නේද ?
ඇස් සෑදු තැනැන්වහන්සේට නොපෙනෙන්නේද?"

එදා ඒ ගීතිකා කාරයා විසින් එලෙස ප්‍රශ්න කිරීමට මුල්වූ හේතුවත් එම ගිතිකාවේම (අනුහර වැනි ගීතිකාවේ) ලියවී ඇත්තේ මෙයාකාරවයි.

"අයුතුකම් කරන සියල්ලෝම පාරට්ටු කර ගනිති.
ඔවුහු දොඩවති, අහංකාර ලෙස කතා කරති.
ස්වාමීන්වහන්සේ නොදක්නා සේකැයිද,
දෙවියන්වහන්සේ නොසළකන සේකැයිද කියති.
ආඥානයෙනි, නුඹලා කවදා ඥාණවන්ත වන්නහුද?
කණ පිහිටෙවු තැනැන්වහන්සේට නොඇසෙන්නේද ?
ඇස් සෑදු තැනැන්වහන්සේට නොපෙනෙන්නේද?"

දෙවියන්වහන්සේට කිසිවක් නොපෙනෙන බවටත් එසේම මොලොව සිදුවන කිසිවක් ගැන උන්වහන්සේ නොසළකන බවත් සිතා සිටින අපටත් ඉහත සඳහන් දේව වචනය මෙලොව ජිවිතයේ සැබෑ යතාර්ථය තුල සැඟවී ඇති ඒ ආත්මික සත්‍යයතාවය ගැන නැවත වතාවක් කල්පනාකාර බැලීමට අවස්තාව සලසයි.

එබැවින් ගීතාවලියේ ගිතිකාකාරයා විසින් දෙවියන්වහන්සේ ගැන පෙන්වාදෙන ඒ අභියෝගමත් යථාර්තය ගැන මොහොතක් සිතාබලා, ක්‍රිස්තුස් වහන්සේ අදහන ඇදහිලිවන්තයන් වන අපිත් ජීවමාන දෙවියන්වහන්සේ ගැනත් එසේම උන්වහන්සේගේ මැවිල්ල වූ මිනිසුන්වන අපි ගැනත් එහි පෙන්වාදී ඇති ඒ සත්‍යය යථාර්ථයේ ගැඹුරු පරමාර්ථය ගැන සොයා බැලීම ප්‍රයෝජනවත් වෙයි.

හේතුව මැවුම්කාර දෙවියන්වහන්සේ විසින් පළමු මිනිසා සාදා මවන ලද ඒ ආරම්භයේදීම මනුෂ්‍යන් වන අපටත් ඇසීම අවශ්‍ය බව සිතා, ඒ වෙනුවෙන් අප තුල එක කණක් නොව නුමුත් කන් දෙකක්ම මවා පිහිටුවා ඇති බැවින් , ඇසීම සඳහා අප තුල " කන් පිහිටවූ" ඒ දෙවියන්වහන්සේට සැබවින් නොඇසෙන්නේද? යන්න ගැනත් මොහොතක් හෝ සිතා බලනවා නම් එයත් ප්‍රයෝජනවත් වෙයි.

දෙවියන්වහන්සේ විසින් සදා මවනු ලැබූ මේ ලෝකයේ ඇති සියළු දේවල් දැක බලාගැනීමට උපකාර වන පිණිස, අප තුළත් ඇස් සාදා පිහිටවූ ඒ තැනැන්වහන්සේව අන්ධ අයෙකු සේ සලකමින් උන්වහන්සේට අපව නොපෙනෙන බව සිතන්නේ නම්, ගීතිකා කාරයා පෙන්වාදෙන ලෙසින් අපත් සැබවින්ම අඥානයෝ යයි පැවසීමේද වරදක් නොවෙයි.

නුමුත් ඒ ගැන දේව වචනය පවසන්නේ ; "ඇසෙන කන්ද දකින ඇස්ද යන මේ දෙකම ස්වාමින්වහන්සේ සෑදුසේක". යන සත්‍යයයි. (හිතෝපදේශ 20:12)

ඇස් මැවූ තැන්නන් වහන්සේට ඔබව නොපෙනේ යැයි ඔබත් සිතන්නේද?
කණ සෑදු දෙවියන්වහන්සේට ඔබගේ හඬ නොඇසේ යැයි ඔබත් පවසන්නේද?
මේ ප්‍රශ්ණයට ඔබ දෙන පිළිතුර මෙන්ම ඒ පිළිතුර දීමට ඇති හේතුව ගැනත් ඔබ අවංකවී මොහොතක් හොඳින් කල්පණාකර බලන්න.

මිනිසුන් හැටියට බොහෝවිට අපි උනන්දු වන්නේ එදිනෙදා ජිවිතයේ සැප පහසුව වෙනුවෙන් යමක් ලබාගැනීම අරමුණ පමණක් වීමත්, එසේම එදිනෙදා ජිවිතයේදී අප මුහුණ දෙන නොයෙක් ආකාරයේ අභියෝග අප විසින් ජයගැනීමට ඇති ආමාරුකම නිසා බොහෝ විට බොහෝදෙනෙක් ජීවිතය ගැන කලකිරීමෙන් පසුවුවත්, එවැනි තත්වයක සිට දෙවියන් තුලින් හෝ තම අරමුණ ඉටුකර ගැනීමට දරන උත්සාහයේදී එය බලාපොරොත්තු වූ ලෙසින් නොලැබී යනවිට අප පෙළඹෙන්නේ දෙවියන්ට අපව නොපෙනෙයි යන හැඟීම වුවත්, ඒ ගැන දෙවියන්වහන්සේ පවසා සිටින්නේ උන්වහන්සේට අපව හොඳින් පෙනෙන බවයි.

“ස්වාමින්වහන්සේගේ ඇස් සෑම තැනකම පැවත, නපුරන්ද, යහපතුන්ද දෙස බලාසිටින්නේය.” -හිතෝපදේශ 15:3.

හිතෝපදේශ පොතේ ලියවී ඇති ආකාරයට ඒ දෙස නැවත වතාවක් විමසිල්ලෙන් බලන්නේ නම්, පෙනෙන්නේ, දෙවියන්වහන්සේට අපව "පෙනෙන" බවක් ගැන නොව නුමුත් අප දෙස "බලාගෙන" සිටීමක් ගැනයි.

“දැකීම” සහ “බලාගෙන සිටීම” යනුවෙන් පවසන විට ඒවායේ තේරුම අප හොඳින් දන්නා බැවින් ඒ ගැන පහදා දීමක් කිරීමට අවශ්‍ය නොවුනත් මෙහිදී එහි සඳහන් “බලාගෙන සිටින්නේය” යන වචනය ගැන අවධානය යොමු කිරීම වැදගත් වන්නේ එහි සඳහන් අර්ථය නිවැරදිව තේරුම් ගන්නා පිණිසයි.

හේතුව "බලාසිටින්නේය" යන වචන වලින් අර්ථවත් වන්නේ, උන්වහන්සේට අපව පෙනෙනවා යන අර්ථයටත් වඩා උන්වහන්සේ අප දෙස "උවමනාවෙන් සහ අවධානයෙන් යුතුව" විමසිලිමත්වන බව පෙන්වාදෙන අර්ථයයි.

ඉහත සඳහන් බයිබල් පදය දෙවියන්වහන්සේ ගැන අපට පෙන්වාදෙන පණිවිඩය වන්නේ, "ඇස් ඇති ආත්මික අයෙක්" (දෙවිකෙනෙක්) අපට ඉහලින් සිටිනා බව පමණක් නොව, නුමුත් අපට ඉහලින් සිටින ඒ ආත්මික බලවතා සැමවිටම අප දෙස විමසිල්ලෙන් පසුවන වගයි.

දෙවියන්වහන්සේ අප දෙස විමසිල්ලෙන් බලාසිටියත් උන්වහන්සේගේ අවධානය මා දෙසට මෙතෙක් යොමු නොවන්නේ ඇයි? යන ඒ ප්‍රශ්නයට අවශ්‍යය පිළිතුර අපට බයිබලයෙන්ම සොයා ගත හැකියි. එහි දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ කුමණ කාරණයක් ගැන විමසිලිමත් වන්නේද? යන කාරණය ගැනත් සඳහන් කරයි. ඒ පිළිතුර 2 ලේකම් පොතේ සඳහන් වෙයි.

“ස්වාමින්වහන්සේ කෙරෙහි සම්පුර්ණ සිත් ඇත්තන්ට පිහිටවෙන පිණිස,
උන්වහන්සේගේ ඇස් පොලොව මුළුල්ලෙහි ඔබ මොබ දුවන්නේය.”

-2 ලේකම් 16:9

මේ පොලොව මුළුල්ලේ දෙවියන්වහන්සේගේ ඇස් විමසිලිමත් වෙමින් සොයා යන්නේ මිනිසුන්ට පිහිටවීම වෙනුවෙන් බව එහි පැහැදිලිව සඳහන් වුවත්, දෙවියන්වහන්සේගේ පිහිට උපකාරය නොලැබෙන පිණිස ඇයි අප වෙත ඒ ඇස් යොමුනොවන්නේ? යනුවෙන් ඒ ගැන බොහෝදෙනා දෙවියන්ට කරන චෝදනාත්මක ප්‍රශ්නයටත් උන්වහන්සේම එහි පිළිතුරු සපයයි.

උන්වහන්සේගේ ඇස් විමසිල්ලෙන් පොලොව පුරා දිවයන්නේ උන්වහන්සේ කෙරෙහි සම්පුර්ණ සිත් ඇත්තන් සොයමින් බව 2 ලේකම් පොතේ පැහැදිලි වෙයි. එබැවින් දෙවියන්වහන්සේගේ අවධානය යෝමුවීමට නම් ඒ වෙනුවෙන් අප උන්වහන්සේ ඉදිරියේ සම්පුර්ණ සිත් ඇත්තන්ද විය යුතුයි යන සුදුසුකම පැනනගියි. පිහිටවීම සඳහා දෙවියන්වහන්සේගේ ඇස යොමුවන්නේත් එසේම පිහිට උපකාර ලබා දීමට උන්වහන්සේ උනන්දු වන්නේත් උන්වහන්සේ කෙරෙහි සම්පුර්ණ සිත් ඇත්තන්ට බවත් ලේකම් පොත් පවසයි.

ඒ අනුව දෙවියන්වහන්සේට අපව පෙනුණත්, එසේම උන්වහන්සේගේ ඒ ඇස් පොලොව මුළුල්ලේම ඔබ මොබ සැරිසරුවත්, උන්වහන්සේගේ අවධානය යොමුවන්නේ "උන්වහන්සේ කෙරෙහි සම්පුර්ණ සිත් ඇත්තන් කෙරෙහි පමණක් බව" ලේකම් පොතේ ඇති පද අපට අලුත් යමක් පවසයි.

දෙවියන්වහන්සේගේ වචනය සඳහන් බයිබලය ඉතා පැහැදිලිව දෙවියන්වහන්සේට ඇයි මාව නොපෙනෙන්නේ? යන හේතුවත් එසේම දෙවියන්වහන්සේට ඇයි මාගේ කන්නලව්ව නොඇසෙන්නේ? යන ඒ හේතුව ගැනත් දෙවියන්වහන්සේගේ පැත්තෙන් හේතු සහිතව උන්වහන්සේම පිළිතුර සපයාදී තිබුණත් ඇදහිලිවන්තයන් වන අප දෙවියන්වහන්සේටම ඒ ගැන දොස් කියන තත්වයට වැටී සිටීන්නේ ඇයි? කියාත් මෙහිදී කෙටියෙන් හෝ සොයා බැලීම වැදගත් වන්නේ; දෙවියන්ගේ ආශිර්වාදය ලබාගන්නා පිණිස අපගේ දුර්වලකම මඟ හරවා ගනු පිණිසයි.

ඒ ගැන දේව වචනය පෙන්නා දෙන පළමුවැනි හේතුව වන්නේ, දේව වචනය කියවා බලා එහි උන්වහන්සේ පවසා තිබෙන්නේ කුමක්ද කියා දැනගැනීමට උනන්දුවක් හෝ උවමනාවක් ඇදහිලිවන්තයන් වන අපට නොමැති කමයි.

අපි ඇදහිලිවන්තයන් වුවත් මෙහිදී අපෙන් බොහෝදෙනෙකුට දේව වචනය කියවා දැනගැනීමට කිසි ආශාවක් නොමැති හේතුවත් බොහෝදුරට දෙවියන්වහන්සේ ගැන කලකිරීමට මඟ පාදයි. එවිට සිදුවන්නේ අපගේ නොදැනුවත්කමේ හේතුවෙන් දෙවියන් පිට වරද පැටවීමට පෙලබිමයි.

මේ නොමග යෑමෙන් බේරී සිටීමට නම් ඒ වෙනුවෙන් ඇති එකම මඟ වන්නේ, දෙවියන්වහන්සේ පවසා ඇත්තේ මොනවාද කියා දැනගන්නා පිණිස පළමුව දේව වචනය කියවබලා ඒ ගැන අවබෝධකරගෙන ඒ අනුව දෙවියන් සෙවීමයි. දේව වචනය කියවීමට සුලුකාලයක් හෝ වැය කිරීමට පුරුදුවීම ඒ සඳහා උපකාරී වෙයි. ආත්මික පැත්තෙන් ජීවිතය ජයගැනීමට කැමති නම් ඒ වෙනුවෙන් ආත්මිකව මඟ පෙන්වන දේවස්ථානයක් සමග සහභාගිකම් පැවැත්වීමත් ඒ සඳහා අවශ්‍යය වන දෙවැනි කාරණයයි.

දෙවැනි ලේකම් පොතේ සඳහන් ඒ බයිබල් පදය පෙන්වාදෙන පරිදි "සම්පුර්ණ සිත් ඇත්තන්" යන දෙවියන්වහන්සේගේ අවධානය යොමුවූ ඒ කණ්ඩායම ගැනත් තේරුම් ගැනීම අවශ්‍යය වන්නේ ඒ තුලින් අපගේ ආත්මික පැත්ත ගැනත් විමසිලිමත් වන පිණිසයි. මෙහි "සම්පුර්ණ සිත් ඇත්තන්" යනුවෙන් අදහස් වන්නේ, උන්වහන්සේ ඉදිරියේ සිතින් අවංක වු මිනිසුන් ගැනයි. එයට ජාති බේදයක් හෝ ආගම් බේදයක් අයත් නොවන්නේ දෙවියන්වහන්සේම සියල්ලන්ගේ මැවුම් කාරයාණන් වහන්සේද වන නිසායි. දෙවියන්වහන්සේගේ ඇස අප වෙත යොමු කර ගැනීමට නම් අපත් දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ අවධානයද අවංකව යොමුකළ යුතු බවත් එය පැහැදිලි කරයි.

දෙවියන්වහන්සේගේ මේ ක්‍රියාවේ අනෙක් පැත්ත ලෙසින් අප දකින්නේ,උන්වහන්සේ කෙරෙහි සම්පුර්ණ සිතක් නොමැති පුද්ගලයන් පවා උන්වහන්සේට හොඳින් පෙනෙන නුමුත්, උන්වහන්සේගේ අවධානය සැමවිටම ඔවුන් කෙරෙහි යොමු නොවෙනා ඒ හේතුවයි.

පිහිටවීම සඳහා උනන්දුවෙන් උන්වහන්සේගේ ඇස් සැමවිටම පොලොව පුරා සැරිසරන්නේ උන්වහන්සේට අවංකවූත් කීකරුවුත් මිනිසුන් (සම්පුර්ණ සිත් ඇත්තන්) සොයායමින් පමණක් බව එහි පැහැදිලිව සඳහන් වෙයි. සමහරුනට දෙවියන්ගේ පිහිට ඉතා ඉක්මනින් ලැබුනත් තවත් සමහරුනට උන්වහන්සේගේ පිහිට පමාවීමේ හේතුව ගැනත් එලිදරව්වක් ඒ පදය සපයයි.

හේතුව අපගේ ආත්මික ජිවිතයේ දුර්වලකම මඟහරවා ගනිමින් අපගේ ආත්මික ජීවිතය දෙවියන් වහන්සේ ඉදිරියේ හැඩ ගස්සා ගැනීම පිණිස කටයුතු කිරීම තුලින් පමණක් අපටත් අපගේ ජිවත දෙවියන්වහන්සේ ඉදිරියේ "සම්පුර්ණ සිත් ඇත්තන්" ලෙසින් වෙනස් කරගැනීමට හැකිබව මගේ හැඟීමටත් වඩා දෙවියන්වහන්සේගේ වචනය පෙන්වාදෙන ඉගැන්වීමද වෙයි. මේ කොන්දේසිය යේසුස් වහන්සේ පවා දේශනා කල බව අලුත් ගිවිසුමේ දැකීමට හැකියි.

"පළමුව දේව රාජ්‍යයත් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමත් සොයන්න.
එවිට අන් සියල්ල නුඹලාට දෙවියන්වහන්සේම විසින් දෙනු ලබන්නේය"

ලේකම් පොතේ ලියවී ඇති පරිදි සම්පුර්ණ සිත් ඇත්තන් වන්නේ කොහොමද? යන ඒ රහස යේසුස් වහන්සේ පවා පැහැදිලිව දේව වචනයේ පෙන්වාදී ඇතත් , ඒ ගැන පවසා ඇති දෙවියන්වහන්සේගේ වචනය කියවා බැලීමට හෝ උන්වහන්සේ දී ඇති ඉගැන්වීමට කීකරුව ජීවත්වීමට උනන්දුවක් හෝ ආශාවක් අප තුල නොමැති වීමත් මේ පසුබට වීමට මුල්වෙයි.

බොහෝවිට ආශිර්වාදය පමණක් ලබාගැනීමේ චේතනාවෙන් දෙවියන් සෙවීමට පුරුදුවී සිටින අපි දෙවියන්වහන්සේ ජීවමාන බැවින් උන්වහන්සේට කීකරුව, අවංකව දෙවියන් ඇදහීමට හෝ නමස්කාර කිරීම සඳහා දෙවියන් නොසොයයි. නුමුත් අපි පළමුව දේව රාජ්‍යය සහ උන්වහන්සේගේ ධර්මිෂ්ඨ කම සෙවීමටත් ඒවාට කිකරුවිමටත් උනන්දු වන්නේ නම්, එවිට දෙවියන්වහන්සේද අප වෙනුවෙන් ක්‍රියා කරන බව එහි පැවසෙයි.

දේව රාජ්‍යය ලෙසින් යේසුස් වහන්සේ මෙහි සඳහන් කරන්නේ, අපගේ "සිතේ කැමැත්ත" උන්වහන්සේට භාරදීමක් ගැනයි. ලේකම් පොතේ ලියවී ඇති පරිදි දෙවියන්වහන්සේ ඉදිරයේ "සම්පුර්ණ සිත් ඇත්තන් වීමට" නම්, පළමුවෙන්ම අපිත් අපගේ කැමැත්ත නොව නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත සොයා දැනගන්නා පිණිස උනන්දුවීමත් අවශ්‍යය වන්නේ, උන්වහන්සේ ගේ අවදානය අප වෙතත් යොමුවන පිණිසයි. ඒ වෙනුවෙන් දෙවියන්වහන්සේම විසින් දී ඇති උපදෙස් කියවා බලා දැනගෙන ඒවාට කිකරුවීම ඒ සඳහා ඇති හොඳම මාර්ගයි.

දෙවියන්වහන්සේ විසින් කීකරුවන ලෙසින් පවසා ඇති ඒ උපදෙස් ජිවිතයෙන් පැවැත්වීමට අපත් අවංකව උනන්දු වනවිට උන්වහන්සේත් අප ගැන උනන්දුවන බව පමණක් නොව නුමුත් උන්වහන්සේගේ සියලු ආශිර්වාද වලින් ආශිර්වාද කරන බවටත් දෙවියන්වහන්සේම දේව වචනයේ පොරොන්දුවී සිටියි.

එබැවින් ඒ සත්‍යය සොයා දැනගැනීමට ඒ ගැන උනන්දුවීමේ වගකීම අප පිට පැවරෙයි. සත්‍යය යන ඒ අවබෝධය තේරුම්ගැනීමට හැකිවන්නේ අපි ඒවා අවංකව කියවා බලා දැනගැනීමට උනන්දු වන්නේ නම් පමණි.

"ස්වාමින්වහන්සේ මෙසේ කියනසේක;
නුඹලාගේ අත් විහිදන කළ මාගේ ඇස් නුඹලා කෙරෙන් සඟවා ගන්නෙමි.
එසේය, නුඹලා යාඥා බොහොමයක් කරන කල්හිත් මම නොඅසන්නෙමි.

නිෂ්ඵල පුජා තවත් නොගෙනෙල්ලා;
දුම් පුජාව මට පිළිකුලක්ය;
ගොනුන්ගේත් බැටළු වස්සන් ගේත් ලෙයට මම ප්‍රසන්න නොවෙමි.
නුඹලා මා ඉදිරියෙහි පෙනෙන්නට එන කළ,
එසේ මිදුල් පාගන්නට කියා නුඹලාට කිවේ කවුද?
නුඹලාගේ දුෂ්ඨකම සහිත රැස්වීම් මට ඉවසන්නට බැරිය.
නුඹලාගේ අමාවක් දවස් සහ මංගල්‍යය වලටද ද්වේශ කරමි.
ඒවා මට බරක්ය.
ඒවා උසුලා වෙහෙසව සිටිමි.

"අනේ විශ්වාස වූ නුවර, වේශ්‍යාවක් වූ හැටි!
ඒක යුක්තියෙන් පිරී තිබුණේය!
එහි වාසය කළේ ධර්මිෂ්ඨකමය.
නුමුත් දැන් සිටින්නේ මිණීමරන්නෝය.

නුඹේ රිදී බොරවිය,
නුඹේ මුද්‍රික පානයෙහි වතුර මිශ්‍රව තිබේ.
නුඹේ අධිපතීහු කැරලිකාරයෝය.
සොරුන්ගේ සමාගම්කාරයෝය.
සැමදෙනාම අල්ලසට ඇලුම් වෙති,
තෑගී පස්සේ දුවති.
මවු පියන් නැත්තන්ට ඔවුහු යුක්තිය නොකරති,
වැන්දඹුවගේ නඩුව ඔවුන් වෙතට පැමිණෙන්නේ නැත.
එබැවින් සේනාවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක;
නුඹලාගේ අත් ලෙයින් පිරී තිබේ.

එබැවින් නුඹලා සෝදාගෙන පවිත්‍ර වෙයල්ලා.
(එනම් පසුතැවිලි වෙමින් වැරදි මාර්ග වලින් හැරී දෙවියන්ගේ වචනයට කීකරු වීම)
නුඹලාගේ ක්‍රියාවල නපුරු කම මාගේ ඇස් ඉදිරියෙන් පහකර,
නපුරුකම් කිරීමෙන් වැලකියල්ලා.

යහපත්කම් කරන්නට ඉගෙන ගනිල්ලා.
යුක්තිය සොයා, බලහත්කාරකම මැඩපවත්වාපල්ලා.
මවුපියන් නැත්තාට යුක්තිය කර, වැන්දඹුවගේ නඩුව අසාපල්ලා.

නුඹලා අකමැතිව කැරලි ගසන්නාහු නම්, මරුම්කන්නහුය.
නුමුත් කිකරුවී පසුතැවිලි වන්නාහු නම් ආශිර්වාදයට උරුම කම් කියන්නහුය.

මක්නිසාද ස්වාමින්වහන්සේගේ මුඛය එය වදාලසේක".
-ආමොස්ගේ පුත්‍රයාවූ යෙසායා දුටු දර්ශනයය.

ක්‍රිස්තුස් වහන්සේ අදහන ඇදහිලිවන්තයන් ලෙසින් අප ජිවත්වුවත්, දේව වචනය පෙන්වාදී ඇති ලෙසින් දෙවියන්වහන්සේ සමග තිබිය යුතු අපගේ ආත්මික ජීවිතය යහපත් තත්වයක නොතිබේ නම්, එවැනි ජීවිතයකට දෙවියන්වහන්සේ ගේ පැත්තෙන් ඵලනෙලා ගැනීම අපහසු වන්නේ දෙවියන්වහන්සේ සමග තිබිය යුතු අපගේ ආත්මික සම්බන්ධය සහ සහභාගිකම බිඳී ගොස් ඇති හේතුවයි. දේව වචනයට ගරු නොකිරීම සහ දෙවියන් ඉදිරියේ අවංකවී කටයුතු නොකිරීම අපගේ ආත්මික ජීවිතය ඇල්මැරුනාවූ තත්වයකට පත්කරයි.

දේව වචනය දැනගත හැකිවන්නේ එය කියවා බලන්නේ නම් පමණි. එබැවින් ඒ වෙනුවෙන් තනි තනිව හෝ කුඩා කණ්ඩායම් ලෙසින් හෝ කාලය වැයකිරීමට තීරණය කිරීමද අවශ්‍යය වෙයි. ආත්මික ජිවිතයේ වර්ධනය වෙනුවෙන් ආත්මික දේවල් ගැන උනන්දුවන දේවස්ථානයක් සමග සහභාගිකම පැවැත්වීමද වැදගත් වෙයි.

දෙවියන්වහන්සේ වෙතට ලංවන පිණිස අපි දිනපතා අපගේ ආත්මික ජිවිත ගැන සැලකිලිමත් වන විට ශුද්ධ ආත්මයාණන් වහන්සේද අපට ඒ වෙනුවෙන් පිහිටවන බවත් දේව වචනය පවසා සිටියි.

(දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි. /©2016- darmadasa.org)